Saturday, February 28, 2009

ඇරඹුම

මේ කියන්න යන්නේ අපි හිතන දේවල් යම්කිසි විෂය රාමුවකට කොටු කරල හිතන්නෙ නැතිව වඩාත් පෘථුල විදියට, වඩාත් විශ්වීය විදියට හිතීමට පුරුදු වෙන එක ගැනයි. බහුතරයක් මිනිසුන්ගේ තිබෙන ප්‍රධාන අඩුපාඩුවක් තමයි ඉතා ඉක්මනින්ම අර්ථ දැක්වීම් (සම්මතයන්) වලට කොටුවීම. (එනම් අර්ථ දැක්වීම් විශ්වාස කිරීම) අර්ථ දැක්වීම් වලින් වටවුනු මනසක නිර්මාණය වන දැනුම එම අර්ථ දැක්වීම් වල සීමා වලින් කොටුවේ. උදාහරණයක් විධියට අයින්ස්ටයින් තමන්ගේ චින්තනය නිව්ටන්ගේ රාමුවල කොටුකරගෙන තිබුනා නම් ඔහු කිසිදිනෙක සාපාක්ෂතාවදයක් නිර්මාණය නොකරනු ඇත.

වඩාත් සරල විදියට කියනවනම් අපි සාමාන්‍යයෙන් කියන්නෙ සාම්ප්‍රදායික භෞතික විද්‍යාවට අනුව මෙහෙමයි, ක්වොන්ටම් යාන්ත්‍රණයට අනුව එහෙමයි, බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙහෙමයි, මාක්ස්වාදයට අනුව මෙහෙමයි, පෙරදිග සංගීතයට අනුව එහෙමයි, ආර්ථික විද්‍යාවට අනුව මෙහෙමයි කියලනෙ. ඒ නමුත් අපි එහෙම කියනකොට අපි දන්නෙම නැතුව අපේ චින්තනය ඒ ඒ රාමු වලට කොටු වෙනවා. එතකොට එතන නිදහස් චින්තනයක් නෑ. සරලව කියනවනම් එතකොට වෙන්නෙ නිදහස් චින්තනයක් තිබුන මිනිස්සුන්ගෙ මනසෙන් නිර්මාණය කරපු දැනුම පද්ධතියක අපේ සිතුවිලි හිර වෙන එකයි. හැබැයි එක දෙයක් මතක තියා ගන්න, අපි ඉන්න මේ ලෝකයේ ගොඩක් දේවල් මේ තත්වෙට ගෙනල්ල තියෙන්නෙ ඒ නිදහස් චින්තනය තිබිච්ච මිනිසුන් නිර්මාණය කල දැනුම තුලින්. ඒ වගේමයි මං අර කලින් උදාහරණෙදි කියපු ඔක්කොම සිද්ධාන්ත නිර්මාණය උනෙත් නිදහස් චින්තකයන් තුලයි. මොකද ඒ අය අනෙක් අය නොදැකපු විධියට විශ්වය දැක්කා. ඒ අය සම්මත රාමුවෙන් එපිටට හිතපු හින්දයි ඒ අය අලුත් දැනුමක් නිර්මාණය කලේ. ඒ අයගෙ චින්තනය රාමුවකට කොටු වෙලා තිබ්බ නම් ඔවුන් කවදාවත් අලුත් දෙයක් හොයා ගන්නෙ නෑ. ඒ හින්දා අපේ රටට දැන් ඕන කරල තියෙන්නෙත් ඒ විදියට රාමුවෙන් එපිටට හිතන්න පුළුවන් අයයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් නිදහස් චින්තනය තුලින් ආයෙමත් ගොඩනගන්නේ රාමුවක් නේද කියලා. එක අතකට ගත්තොත් ඒක රාමුවක් වෙන්නේ දැන් තියෙන විද්‍යා දර්ශන චින්තන හා මතවාද වලට සාපේක්ෂවයි. (එනම් දැනි පවතින දැනුම නිවැරදියි යන ආත්මීය විශ්වාසයට අනුවයි. - ඉදිරියේදී පැහැදිළි කෙරෙනු ඇත.) 1900 දී රාජකීය විද්‍යා සංගමයෙන් (Royal Academy of Science) “දැනට සොයාගැනීමට ඇති සියලු දේ සොයා ගෙන අවසානයි” යන අදහස ප්‍රකාශ වුනා. නමුත් ඒ කතාව අද වන විට බොරුවක් බවට පත්වී තිබුනත් එය බොහොමයක් මිනිසුන් තුල කාවැදිලා තියෙන බව අපේ විශ්වාසයයි. ඒකියන්නේ Unified Field Theoryය වැනි යමක් අප යෝජනා කරනවා යන්න නොවේ. කිමද එයත් වර්තමාන පටු චින්තනය විසින් සකස් කරපු දෙයක්.

ඒ වගේමයි නිදහස් චින්තනය කියන එකට විෂය ක්ෂේත්‍රයක් නෑ. විද්‍යා, කලා, වාණිජ කියල වෙන්වෙන් නෑ. මොකද එහෙම විෂය ක්ෂේත්‍ර විධියට වෙන් කලොත් නැවතත් එතන නිදහස් චින්තනයක් නැතිවෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන හිතද්දී මම විද්‍යාත්මකව හිතනවා හෝ මම කලාත්මකව හිතනවා ආදී වශයෙන් අපි අපේ චින්තනයට සීමා පනවන්නේ නැතිව නිදහස්ව සිතිය යුතු බවයි. (කලාවේ විද්‍යාත්මක බව හා විද්‍යාවේ කලාත්මක බව ඉදිරියේදී සාකච්ඡා කරමු.) එමගින් පූර්ණ විද්‍යාත්මක නොවන, පූර්ණ කලාත්මක නොවන නමුත් ඒ සියලු ගති ලක්ෂණ ඇති වඩා පරිපූර්ණ, වඩා සාර්ථක නිර්මාණ කිරීමට හැකිවේ.

අපිට හිතන්නෙ අපේ රට ගොඩගන්න නම් නිදහස් චින්තකයන් ප්‍රවර්ධනය කරන්න ඕනෙ කියලයි. (හැබැයි මෙතුවක් කාලෙකට අපේ රටේ රාජ්‍ය මට්ටමෙන් පවා ප්‍රවර්ධනය වුනේ ව්‍යාපාරිකයන් විතරයි.) හැබැයි මේක කියනවට වඩා අමාරුයි. මොකද නිදහස් චින්තනයක් ඇතිවීමට බලපාන සාධක තවමත් විවාදිත කරුණක්. ඒ වගේම නිදහස් චින්තකයෙක් වෙන්න අවශ්‍ය බුද්ධිය මිස උගත්කම නොවන බව අපගේ අදහසයි. කම්කරුවෙකුත් බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. හැබැයි බුද්ධියට අමතරව උගත්කමත් තියෙනව නම් ඒක ලොකු හයියක් වේවි.

No comments:

Post a Comment