Saturday, February 28, 2009

මිනිස්සු ගමන අරඹති…

අතීතය අපිට අල්න්න බැහැ
ඒක ගිහිල්ල ඉවරයි
අනාගතය අපිට අල්ලන්න බැහැ
ඒක ඇවිල්ල නැහැ
වර්තමානයේ වෙනස් වෙන සකස්වෙන අය විතරයි
ලෝකයේ දියුණු වෙන්නේ
෴ බුදුරජාණන් වහන්සේ෴

ඒ වගේම, අතීතය අපිට දකින්න පුළුවන්, ඒත් අතීතයට යන්න බෑ. අනාගතය අපිට දකින්න බෑ, ඒත් අනාගතයට යන්න පුළුවන් (යන්නම වෙනවා). ඒ නිසා අතීත අත්දැකීම් අරගෙන, වර්තමානය හරහා අනාගතය ගොඩනැගීම සඳහා එකතු වෙමු. දීර්ඝවූත්, ප්‍රෞඩවූත් ඉතිහාසයකට හා සංස්කෘතියකට හිමිකම් කියන අප, සිංහයකුගෙන් පැවත එන්නන් යැයි කියයි. රාජ්‍ය සංකේත වල පටන් අපගේ බොහෝ දේ සංකේතවත් කරන්නේ සිංහයාය. (මාතෘකාවට ප්‍රමාණවත් ඌණ පූර්ණයක් ලැබුණු බව විශ්වාස කරමු.)
යාන්ත්‍රික නොවූ විවිධාකාර වූ සරල මිනිසුන්ගේ ශක්තියෙන් ලංකාව ගොඩනැගිය යුතුය. නමුත් සරල යනු නොදියුණු යන්න නොවේ. නමුත් අද වන විට මේ කාර්මීකරණය වූ සංකීර්ණ/ ඒකාකාරී ලෝකයේ මිනිසුන්ගෙන් එහෙව් චින්තනයන් ඈත් වෙමින්, මිනිසුන් ආත්මාර්ථකාමී යන්ත්‍ර බවට පත්වෙමින් පවතී. මෙය හුදෙක් ගෝලීය ආර්ථික රටාවේ ප්‍රථිඵලයක් ලෙස ලඝු කිරීම යුක්ති යුක්ත නොවේ. නමුත් ඒ සරල චින්තනය තවමත් සම්පූර්ණයෙන්ම අපගෙන් ඈත් වී නොමැති බව විශ්වාස කරමු. අපගේ ඇට-ලේ-මස්-නහර තුලටම කාවැදී ඇති අපේකම ඉවත් කිරීමට පහසු නැත. අප තුල ඇති සරලත්වයට පිටතට ඒමට ඉඩ දෙන්න; ඒ සරල උණුසුම් රුධිරයට අප මනස නැහැවීමට ඉඩ දෙන්න. අප තුල මුළුගැන්වී ඇති රැමු වලින් මිදුනු චින්තනයන්ගේ දුහුවිලි පිස දමා එලියට ගන්න; යන්ත්‍රයක් මෙන් නොව මිනිසකු ලෙස ලොව වඩා පෘථුල කෝණයකින් දකින්නට පුරුදු වන්න.
කෙසේ නමුත් ලංකාව සංවර්ධනය විය යුත්තේ ලංකාව ලෙස මිස වෙනත් ආකාරයකට නොවන බව අපගේ වැටහීමයි. මෙය විශේෂයෙන් කිව යුත්තක් නොවනමුත් වර්තමාන තත්වය සලකා බැලීමේදී උත්තරාරෝපිත සමාජ ක්‍රමයකට අනුගත වී ඇති ලාංකීය සමාජයට මෙය මතක් කර දීම සුදුසුය. එනිසා වර්තමාන පසුබිම විග්‍රහ කර ගැනීමෙන් මූලික පියවර තබමු. වත්මන් ලාංකීය සමාජය හා සංස්කෘතිය සලකා බැලීමේදී අප සතුව ඇත්තේ පෙර රජවරු, පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් ඉතිරි කරගිය හා ඉන් පසු එදෙස බලා අප අනුගත වූ සොච්චම් දැනුමක් පමණි. එය සාදාගෙන ඇත්තේ ‍අනාගතය සඳහා නොව හුදෙක්ම ඒ අවස්ථාවේ පැවැත්ම සඳහා පමණක් බව අපේ දැක්මයි. (උදාහරණයක් ලෙස අද ලංකාව බොහෝ ණය ගන්නේ දීර්ඝ කාලීන සැලසුමකින් තොරව හුදෙක්ම අය-වැය පියවීම සඳහාය.) නමුත් අපගේ අදහස වන්නේ වෙන යමක් නොව සකස් විය යුත්තේ වර්තමානය බවයි. ඒ සඳහා යන්ත්‍රයක් මෙන් වැඩ නොකොට, සිතන මිනිසුන් මෙන් සිතා නවමු වැඩපිළිවෙලකට සූදානම් වෙමු. හිතමු.
මෙය සිංහයාට පණ පොවා නැවත පිබිදවීමට කාලයයි. කැරකෙන බඹරය නතර වන තෙක් බලා නොඉඳ මිනිස්සු ගමන අරඹා ඇත.

No comments:

Post a Comment